ජනපති මෛත්‍රීපාල සමඟ වැඩකිරීමට සූදානම් : රනිල් ද හින්දු පුවත්පතට කියයි

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට තමාට අවස්ථාව දුන්නොත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ වැඩ කටයුතු කිරීමට සූදානම් බව ඔක්තෝබර් 26වැනිදා හිටිහැටියේම බලයෙන් ඉවත් කළ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
මීට පෙර කිසිදු අවස්ථාවක නොවූ අයුරින් බල අරගලයකට මැදි වී සිටින වික්‍රමසිංහ මහතා තමන් රටේ නීත්‍යනුකූල අග්‍රාමාත්‍යරයා යන අයිතිවාසිකම සනාථ කිරීමේ සටනක යෙදී සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, වික්‍රමසිංහ මහතාගේ ධුරයට පත් කිරීමත් පසුව නොවැම්බර් 16 වැනිදා දක්වා පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීමත් සමඟ මෙම බල අරගලය නිර්මාණය විය. 
ජනාධිපතිවරයා මේ සතියේ පැවැති ප්‍රසිද්ධ මහජන රැලියකදී පෞද්ගලික කරුණු ඈඳා ගනිමින් වික්‍රමසිංහ මහතාට වාග් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ සිරිසේන මහතා සහ වික්‍රමසිංහ මහතා අතර මතභේදාත්මක සබඳතාව තවදුරටත් පිරිහීමට ලක්විය. 
ජනාධිපතිවරයා සමඟ තවදුරටත් කටයුතු කළ හැකි දැයි විමසූ විට වික්‍රමසිංහ මහතා මෙසේ කීය. “මට ඔහුත් සමඟ වැඩ කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. එය ඔබ ඔහුගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක්. පෞද්ගලික පූර්ව නිගමන සහ විනිශ්චය කිරීම්වලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන වෙන් කර නැහැ” යනුවෙනි.
කොළඹ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වන ‘අරලිය ගහ මන්දිරියේදී’ ‘ද හින්දු’ පුවත්පත හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් වික්‍රමසිංහ මහතා එම කරුණු සඳහන් කළේය. 
ධුරයෙන් පහකර දින දහයක් ගෙවී ගියද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් අරලිය ගහ මන්දිරයෙන් ඉවත් වන්නැයි දැඩි ලෙස ඉල්ලීම් කළ ද ආරක්ෂාව සම්පූර්ණයෙන්ම පාහේ ඉවත් කළ ද වික්‍රමසිංහ මහතා තවමත් අචලව එහි රැඳි සිටී. අඟහරුවාදා සවස් වනවිට එම පරිශ්‍රය ජනතාවගෙන් පිරිගිය අතර ඔවුන්ගේ බොහෝ දෙනා වික්‍රමසිංහ මහතාගේ ආධාරකරුවෝ වූහ.
දශක හතරක පාර්ලිමේන්තු දිවියක් සම්පූර්ණ කර සිටින තම 69 හැවිරිදි නායකයා දැක ගැනීමේ අරමුණින් යටත් විජිත සමයට අයත් පෞරාණික සහ තේජාන්විත ගොඩනැගිල්ලට ඇතුළු වන විවිධ ස්ථානවල පාක්ෂිකයෝ රැඳි සිටියහ. 
ඔක්තෝබර් 26 වැනිදා සිට අඛණ්ඩව අරලිය ගහ මන්දිරියේ පිරිත් සජ්ඤායනා කෙරෙති. පිරිත්වල බල මහිමයෙන් යක්ෂයන් සහ අවාසනාව ඈත් කරන බව බෞද්ධ විශ්වාසයයි. අරලිය ගහ මන්දිරයට පිවිසෙන ප්‍රධාන දොරටුව ආසන්නයේම පිරිත් මණ්ඩපය ඉදි කර ඇත. “දැන් දවස් දහයක ඉඳන් නොනවත්වා පිරිත් කියනවා” යැයි ආරක්ෂක කාර්ය මණ්ඩලයේ අයෙක් පැවැසීය. 
වික්‍රමසිංහ මහතා මෙම දේශපාලන අර්බුදය මධ්‍යයේ වුවද පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවනු ඇතැයි බලාපොරොත්තු සහගතව පසුවෙයි. “උත්තරීතර වනුයේ පාර්ලිමේන්තුවේ බලයයි. කතානායකවරයා පවත්වාගෙන යන්නේ එයයි” යැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරු ජයසූරිය මහතා සඳුඳා නිකුත් කළ නිවේදනය උපුටා දක්වමින් වික්‍රමසිංහ මහතා කීවේය.
පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන තුරු මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිනොගන්නා බව සඳහන් කරමින් කතානායක කරු ජයසූරිය මහතා එම නිවේදනය නිකුත් කර තිබිණි. 
“මට විශ්වාසයි. මට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙනවා. ඔවුන් පාර්ලිමේන්තුව කැඳවන්නේ නැත්තේ ඒක නිසා. ඔවුන්ට බහුතරය නැහැ” යැයි වික්‍රමසිංහ මහතා කීවේය.
සිරිසේන මහතා නොවැම්බර් 16 වැනිදා දක්වා පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබූ අතර පසුව පාර්ලිමේන්තුව නොවැම්බර් 14 වැනිදා කැඳවන බව නිවේදනය කළේය.  “මේ ප්‍රමාදය කනස්සල්ලට හේතුවක්. මම ඒ ගැන වද වෙනවා. මොකද මේ ප්‍රමාදය රට තවදුරටත් අස්ථාවර කරනවා” යැයි  ධුරයෙන් පහ කළ අග්‍රාමාත්‍යවරයා කීය.
 
බදාදා පස්වරුව වනවිට වික්‍රමසිංහ මහතාගේ පෙරමුණට පාර්ලිමේන්තුවරුන් 99 දෙනකුගේ සහාය හිමි ව තිබූ අතර සිරිසේන-මහින්ද පිලට මන්ත්‍රීවරුන් 104 දෙනකුගේ සහාය හිමි වී තිබේ.
සිරිසේන-මහින්ද පිලට බහුතරය පෙන්වීම සඳහා තවත් අවශ්‍ය වී ඇත්තේ මන්ත්‍රීවරුන් නවදෙනකුගේ සහාය පමණි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ආසන 225කින් සමන්විතය. කෙසේ නමුත් වික්‍රමසිංහ මහතාට දෙමළ ජාතික සන්ධානයේ (ටී.එන්.ඒ) සහ වාමාංශික පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණේ සහාය හිමි වී ඇත.
දෙමළ ජාතික සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනකුගෙන් සමන්විත අතර ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරුන් 6 දෙනකුගෙන් සමන්විතය. විපක්ෂයේ පසුවන එම පක්ෂ දෙකම රාජපක්ෂ මහතාගේ පත් කිරීම ව්‍යවස්ථානුකූල නැතැයි ප්‍රකාශ කර ඇති අතර ‘ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා’ කිරීම වෙනුවෙන් ඔහුට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව ප්‍රකාශ කර ඇත. 
වික්‍රමසිංහ මහතා තම පූර්ණ අවධානය පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම කෙරෙහි යොමු කර ඇති අතර “උත්තරීතර අධිකරණ බලතල” ඇත්තේ පාර්ලිමේන්තුව බව සඳහන් කරමින් අධිකරණයට යෑම ප්‍රතික්ෂේප කරයි.
“ඔබ අධිකරණයට ගියොත් ප්‍රශ්නය විසඳාගන්න ඔවුන් ඔබ පාර්ලිමේන්තුවට යවනවා. අපේ විදිය ඔබට වඩා වෙනස් (ඉන්දියාවේ ක්‍රමවේදය)” යැයි තම ස්ථාවර නැවත නැවතත් ප්‍රකාශ කරමින් වික්‍රමසිංහ මහතා කීවේය.
රට ස්ථාවර කිරීම වික්‍රමසිංහ මහතාගේ උපායමාර්ගය වී තිබෙන අතර ඒ සඳහා ඔහු පාර්ලිමේන්තුවේදී සිය බහුතරය පෙන්විය යුතුව ඇත. “කැබිනට් මණ්ඩලය නැවත පත් කරන්න වෙනවා. මොකද ඇතැම් අය අලුත් කැබිනට් මණ්ඩලයට සම්බන්ධ වෙලා” යැයි වික්‍රමසිංහ මහතා කීය.
“එහෙත් පෙර ඔවුන් (සිරිසේන--රාජපක්ෂ හවුල) බහුතරය පෙන්වන තුරු පසුගිය සිකුරාදාට (ඔක්තෝබර් 26 වැනිදාට) පෙර තිබූ තත්ත්වය තවදුරටත් පිළිගන්නා බව” කතානායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වුවහොත් යනුවෙන් විමසන්නට ගිය අවස්ථාවේදී, ප්‍රශ්නය අවසන් කිරීමටත් පෙර “ඔහුට බහුතරය පෙන්වන්න බැහැ” යැයි වික්‍රමසිංහ මහතා කීවේය.
එවැනි උපකල්පිත සිදුවීමක් ඇති වුවහොත් කුමක්ද යන්න විමසූ විට වික්‍රමසිංහ මහතා මෙසේ පිළිතුරු දුන්නේය. “උපකල්පන ගැන මම දන්නේ නැහැ. මම කතා කරන්නේ දැන් තිබෙන තත්ත්වය ගැනයි. ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න බැහැ”.
'' ද හින්දු'' ඇසුරිනි