හකීම් කා සමඟ ද?

ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම අනුමත කළ නොහැකි බව ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා පවසයි.

විදෙස් සංචාරයක නිරත වීම සඳහා ඊයේ(07) රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ්‍රයට පැමිණ සිටියදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා පැවසූවේ ඇති වී ඇති අර්බුදය යම් ආකාරයකින් විසඳිය යුතු බවයි.

ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් නොමැතිනම් සිදු කරන්නේ කුමක්ද යන්න පිළිබඳව සාකච්ඡා කළ යුතු බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

දෙපාර්ශවය සමඟ ගැටළු විසඳා ගැනීමට යම් ප්‍රයත්නයක් ගත යුතුව තිබෙන බවත් ජනාධිපතිතුමන්ව මුණ ගැසුන බවත් රාජපක්ෂ පාර්ශවයේ  ප්‍රධානින් සමඟ සාකච්ඡා කළ බවත් එතුමා පැවැසීය.

එසේම යම් විසඳුමක් මෙයට ලබාදිය හැකිද යන්න පිළිබඳ බැලිය යුතු බවත් එතුමා අද දෙරණට පැවසුවේය. 

පක්ෂයක් හැටියට මේ ගත් තීරණය අනුමත නොකරන බවත් විශේෂයෙන්ම මේක ප්‍රජාතන්ත්‍රවිරෝදී තීරණයක් හැටියට දකින බවත් එතුමා සඳහන් කළේය.

මෙවැනි ආණ්ඩුවකට ඔවුන්ගේ සහයෝගය දීම සම්බන්ධයෙන් ඔවුන් හා එම පක්ෂයේ පාක්ෂිකයන්ගේ අනුමැතිය හා පක්ෂයේ උත්තරීතර මණ්ඩලයේ තීරණය එතරම් සුභදායි පැත්තක නැති බව පැවැසීය.