සෞදි ආණ්ඩුව කෂෝගීගේ ඝාතන පරීක්ෂණ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය අනුමත කළ නොහැකියි- තුර්කි ජනපති



මාධ්‍යවේදී ජමාල් කෂෝගීගේ අමානුෂික ඝාතන සිද්ධියේදී සෞදි රජු අවංකව කටයුතු කරනු ඇතැයි තුර්කි ජනාධිපති රිසෙප් එර්ඩෝගන් පසුගිය 23 දා විශ්වාසය පළ කළා. එරට පාර්ලිමේන්තුව අමතා විශේෂ ප‍්‍රකාශයක් කළ එර්ඩෝගන් ජනාධිපතිවරයා සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු පිළිබදව කිසිදු අදහසක් පළනොකිරීම විශේෂත්වයක්.
මාල්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන්නේ සල්මාන් කුමරුගේ සමීපතමයන් පිරිසකටයි. ඔවුන් සල්මාන් කුමරු යටතේ පවතින විශේෂ ඒකකයක් නියෝජනය කළ පිරිසක්. රොයිටර් පුවත් සේවය අද වාර්තා කළේ සල්මාන් කුමරුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක් වන සවුද් අල් කටානි ස්කයිප් තාක්ෂණය ඔස්සේ ජමාල්ගේ ඝාතකයන් සමග සම්බන්ධ වී ඇති බවයි.
තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලයේදී ජමාල් ඝාතනය කරන්නට මොහොතකට පෙර ඔහු ඝාතකයන්ට පවසා ඇත්තේ බල්ලාගේ හිස මට ගෙනැත් දෙන්න යනුවෙන්. තුර්කි ජනාධිපතිවරයා අද පැවසුවේ මේ සිද්ධිය සම්බන්ධයෙන් දහ අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. එයින් පහළොස් දෙනෙකු ජමාල්ගේ ගාතනයට සෘජුව වගකිව යුතු බව හෙළි වී ඇතැයිද ඔහු අනාවරණය කළා. සෞදි ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය අනුමත කළ නොහැකි බවද තුර්කි ජනාධිපතිවරයා එරට පාර්ලිමේන්තුවට පෙන්වා දී තිබෙනවා.
අරාබියේ බලවත්ම රාජ්‍යය වන සෞදිය සිදු කළ මේ අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පැවැත්වීමෙන් තුර්කි ජනාධිපතිවරයා ලෝක ප‍්‍රජාවේ ඇගයීමට පත්වන බව විදෙස් විචාරකයන්ගේ අදහසයි. රටක් ලෙස තුර්කිය සෞදියට විශාල ණය මුදලක්ද ගෙවීමට තිබෙනවා. එසේම සෞදිය අවි බලයෙන්ද ශක්තිමත් රටක්. ලෝක තෙල් නිෂ්පාදනයේ දෙවැනියා වීම නිසා මේ සිද්ධියේදී සෞදිය විවේචනය කළ පිරිස්ද පසුව එය අත්හැර දැම්මා. ඩාවෝස් ඉන් ද ඩෙසර්ට් නම් සෞදි ආයෝජන සමුළුවට සහභාගි නොවන බව පැවසූ ව්‍යාපාරිකයන් පවා සිය අදහස වෙනස් කරමින් අද පැවැති සමුළුවේ ආරම්භක අවස්ථාවට සහභාගි වුණා. මෙහිදී අදහස් දක්වමින් සෞදි බලශක්ති ඇමැතිවරයා පවසා තිබුණේ මේ කාලය සෞදියට අර්බුදකාරී කාලයක් වුවද, තම රට පසුපසට නොයන බවයි.