1999 දී ගාල්ලෙන් ටෙස්ට් පිටියට පිවිසි රංගන ගාල්ලේදීම සමුගනී


1999 දී සිය පළමු ටෙස්ට් තරගයට ගාල්ලේදී සහභාගි වූ වමත් දඟ පන්දු යවන රංගන හේරත් එංගලන්ත කණ්ඩායම සමඟ ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව වාර්තාවේ.
දැනට ක්‍රීඩා කරන වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් දඟ පන්දු යවන්නා වශයෙන් ක්‍රිකට් වාර්තා පොතට එක්ව සිටින රංගන හේරත් මේ වන විට ටෙස්ට් තරග 92 කට ක්‍රීඩාකර ටෙස්ට් කඩුලු 430 ක් දවා ගැනීමට සමත්ව ඇත

එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සිය සමුගැනීමේ තරගාවලිය බව මීට මාස කිහිපයකට ඉහතදීම රංගන හේරත් ප්‍රකාශ කර තිබිණ. එහෙත් එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන ගාල්ලේදීම ටෙස්ට් පිටියෙන් සමුගැනීමට රංගන සූදානම් බවද දැනගන්නට තිබේ.

තේරීම් කමිටුව පවසන්නේ රංගන තාමත් නිල දැනුම්දීමක් කර නැති බවයි. තේරීම් කමිටු සාමාජිකයන්ගේ අපේක්ෂාව වන්නේ තරග 3 කින් සමන්විත තරගාවලියේදී අඩුතරමේ තරග දෙකක් සඳහාවත් රංගනගේ සේවය ලබාගැනීමයි.