තනි මිනිහෙකුට වුවද ඉතිහාසය වෙනස් කළ හැකිය



ගම්උදා භූමියක ගී ගයමින් සිටි අවස්ථාවක ජෝතිපාල මිය ගියේය. ඒ වන විට ප්‍රබුද්ධ ලෙස හැඳින්වුණු සමාජයේ අධිපති තීරුව විසින් ජෝතිපාල වැදගත් කලාත්මක සමාජයන් වෙත වැද්ද නොගත යුතු කෙනෙකු යයි මතයක් තිබිණි. 1980 දී පමණ නුවර බෝගම්බර පිටියේ පැවති ඇසළ මේලා සැණකෙළියේදී ජෝතිපාල ගී ගායනා කරන්නට පැමිණි විට නරඹන්නන් අතර සිටි පිරිස් නොනවත්වා ඔහුට හූ කියූ අයුරු මට තවමත් මතක තියේ. අප වුවද එකළ අපේ මතාන්තර අනුව ඒ 'හූව' අනුමත කළා විය හැකිය. නමුත් ජෝතිගේ මරණය, අප අයත් නොවූ ඔහුගේ විශාල ශ්‍රාවක සමාජයට දැවැන්ත ශෝකයක් ගෙන දුන්නේය.

මීටත් ටික කලකට පසුව දිවයින පුවත්පතට 'ඇද වැටුණු සංස්කෘතික බල කණුව' මැයෙන් ආචාර්ය සරත් අමුණුගම ලිපියක් ලිවීය. ප්‍රබුද්ධ යයි හැඳින්වුණු සමාජයෙන් පළමුවරට ජෝතිපාල ඇගයුනේද, ඔහුගේ බලවත් සමාජ නියෝජනය ගැන ධනාත්මකව බැලුවේද ඒ ලිපියෙන් පසුවය. ආචාර්ය ජයදේව උයන්ගොඩද ඒ මතයට සහාය දක්වමින් දිවයිනටම දෙවන ලිපියක් ලිවීය.
කොටින්ම ආචාර්ය අමුණුගමයන්ගේ බලවත් ලිපිය කලාවේ ප්‍රබුද්ධ/පීචං බෙදීම්වල මායිම් ඉර නැවත ප්‍රශ්න කරන තැනට සමාජයම පත් කළේය. ජෝති නැවත සොයා යාමේ ගමනට කේමදාස මාස්ටර්ද එක් විය. කේමදාසයන්ගේ ප්‍රසංගවල නිදර්ශන ගායනා සඳහා ජෝති මෙන් ගී ගායනා කළ හැකි අනුර එදිරිසිංහ නම් අපූරු තරුණයෙකු සොායා ගත්තේය.

ජෝතිපාල මැනවින් අවබෝධ කර නොගත් සමාජ බන්ධනයේ කඩ ඇණය ගැලවූයේ ආචාර්ය අමුණුගමයන්ය. එතැන් සිට වසර හතළිහක පමණ කාලයක් තිස්සේ ජෝතිපාල යශෝරාවය සමාජයේ ස්ථාවර දෙයක් බවට පත් විය. මේ මහා වික්‍රමය කළ තනි මිනිසා ආචාර්ය සරත් අමුණුගමය.
-චන්ද්‍රරත්න බණ්ඩාර fb