කලාව කියන්නෙ මට උපතින් ආව දෙයක්, විද්‍යාව කියන දේ මම උපාධියක් හදාරල ලබා ගත්ත දෙයක්

ඇත්තටම මේක අහම්බකාරක මුණගැස්මක්. ප්ලීස් ඇක්සෙප්ට් මී කියල ෆේස්බුක් එකට මැසේජ් එකක් ආවම බැලුවෙ කව්ද කියල. ඔහුගෙ මුහුණුපොත පුරාම ගැබ්වෙලා තිබුණෙ හිත් ඇදගන්නා සුළු විවිධ වර්ගයේ සිතුවම් රැසක්. Face drawings වගේම ත්‍රිමාණ සිතුවම්. ඇත්තටම මමත් පෞද්ගලිකව artවලට ප්‍රියතාවයක් දක්වන නිසා එයාගෙ ඉල්ලීම මම බාර ගත්ත. ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා අංශයෙන් උපාධිය හමාර කරපු තරුණයෙක්. ඒ වගේම චිත්‍ර ශිල්පියෙක්. උපාධිය මත්තෙ රැකි රක්ෂා හොයන පිරිස් අතරෙ තමන් තුළ තිබෙන දක්ෂතාවයෙන් දියුණුවට යන්න දගලන තරුණයෙක් කිව්වොත් මම හරියටම හරි. ඔහු නමින් මහේෂ් සුරංග.

මහේෂ් අපි ඔයාගෙ පොඩි විස්තරයකින්ම මේ කතා බහ පටන්ගමු.

මගෙ ගම මහනුවර. මගෙ කුඩා අවධියේ ඉදන් ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දීපු කෙනෙක්. මහා ලොකු සුන්දරත්වයක් ඇත්තටම මට තිබුණෙ නැහැ. අඩුම ගානෙ මට ස්ථිර නිවසක්වත් තිබුණෙ නැහැ. විවිධ තැන්වල පදිංචියට යමින් තමයි මගේ කුඩා කාලය ගත වුණේ. නමුත් අද වගේ ෆෝන් කොම්පියුටර් ඒ කාලෙ තිබුණෙ නැති වුණත් විදින්න පුළුවන් ලස්සන පරිසරයක මම ජීවත් වුණා. මං පාසල් ගියේ හගුරන්කෙත දියතිලක මධ්‍ය මහා විද්‍යාලයට. ඒ පාසලේ තමයි මුළු පාසල් දිවියම ගතකරෙ. විභාග පාස් කරල ඉහළ පාසල්වලට යන්න හැකියාව නොතිබුණත් අද මම මෙතන ඉන්නෙ ඒ පාසල නිසා. ඒ වගේම මේ හැම දේටම අඩිතාලම වැටුණෙ මගෙ පාසල.

මහේෂ් චිත්‍රවලට යොමු වුණේ කුඩා කාලයේ ඉදන්මද?

ඔව්. කුඩා කාලයේ පටන් මම චිත්‍ර විෂයට වැඩි කැමැත්තක් දැක්වුව. ඒ වගේම චිත්‍ර කියන දේ මට උපතින් ආව දෙයක් වගේ මම අදින හැම සිතුවමක්ම ඇගයීමකට ලක් වුණා. මම අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා චිත්‍ර විෂය හැදෑරුව. ආචාර්ය විජේකෝන් මහත්මය තමයි මගෙ මේ විෂයෙදි මූලික සිද්ධාන්ත ටික මට අවබෝධ කර දුන්නෙ. නිවසක පැවැත්ම අත්තිවාරම මත රදාපවතිනව වගේ මෙතුමගෙ ගුරුහරුකම් නිසා මම අද චිත්‍ර විෂයෙන් ලොකු ගමනක් ඇවිල්ල තියනව.
සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සෙ මහේෂ් තෝරගත්තෙ ජීව විද්‍යාව. ඒ තෝරාගැනීමත් එක්ක චිත්‍රවලට මොකද වුණේ?
ඇත්තටම චිත්‍ර නැවතුනා කියන්න බැහැ. මම නිදහස තියෙන හැම අවස්ථාවකදි ම නිර්මාණයක් කරන්න පුරුදුවෙලා හිටිය. චිත්‍රවලින් ලැබුණු ජයග්‍රහණත් එක්ක මට විවිධ අවස්ථා ලැබුණ. පාසලේ බිත්තියක අඩි 20 20 ක පමණ ප්‍රමාණයක සිතුවමක් අදින්න මට බාර දුන්න. පොඩියට චිත්‍ර ඇදපු මට ඒවගේ විශාල අවකාශයක කොහොම අදින්නද කියල හිතාගන්නවත් බැරිව හිටිය. කොහොම වුණත් මම ඒ අභියෝගය බාර ගත්ත. හිතුවටත් වඩා හොදින් මට එය කරගන්න පුළුවන් වුණා. ඒ වගේම මට චිත්‍ර ප්‍රදර්ශන පැවැත්වන්න ආරාධනා ලැබුණ. ඇත්තම කිව්වොත් පාසල් අධ්‍යාපනය හමාර වෙනකම්ම වගේ මම චිත්‍ර එක්ක හිටිය. පස්සෙ මට විශ්වවිද්‍යාල යන්න වරම් ලැබුණ. භෞතික විද්‍යා අංශයෙන් වැඩිදුර ඉගෙන ගන්න ලැබුණ නිසා ඒත් එක්ක මට ටිකක් විතර නිර්මාණවලින් ඈත්වෙන්න සිද්ධ වුණා. මුලදි ඈත් වුණත් මම නැවත විශ්වවිද්‍යාල ගමනත් එක්කම මම මගේ දෙවනි ප්‍රදර්ශනයත් පවත්වන්න කටයුතු කළා.

උසස් අධ්‍යාපනයෙන් පසුව මොකද වුණෙ?

මම චිත්‍ර කියන එක අතෑරපු කෙනෙක් නෙවෙයි ටිකකට ඈත් වුණත් මම නැවත පටන් ගන්නව. චිත්‍ර කියන්නෙ මගෙ ජීවිතේ වගේ වුණා. ඉඩ ලැබුණ හැම අවස්ථාවකම මම මොකක් හරි නිර්මාණයක් කරමිනුයි හිටියෙ. උපාධිය හමාර කරපු ගමන් අපි හැමෝම බලන්නෙ ඊලගට සුදුසු රස්සාවක්. ඉගෙනගත්ත ප්‍රමාණයටම රස්සාවක් ලැබෙන රටක් නෙවෙයි මේක. ඉතින් රස්සා හොයන එක පැත්තකින් තිබ්බ මම මගේ චිත්‍රකලාවත් එක්ක යම් තැනකට එන්න හිතුව.
මම වෙනස් දෙයක් කරන්න බලාපොරොත්තු වුණා. Mahesh creative කියල මගේ නමින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න මට හැකි වුණා. ගොඩක් අය මට කියල චිත්‍ර ඇදගන්න පුරුදු වෙලා හිටිය. මට හොද පාරිබෝගික පිරිසක් හිටිය. ගොඩක් අවස්ථාව හම්බුනා. Face drawing පැත්තට ගොඩක් නැඹුරු වුණා. ඒ වගේම ත්‍රිමාණ සිතුවම්. මං ගොඩක් ලංකාවෙ වගේම පිටරටවල්වල පවා ප්‍රසිද්ධියක් ලැබුණෙ මගෙ ‍මේ හැකියාව නිසා.

ත්‍රිමාණ සිතුවම්වල විශේෂත්වය මොකක්ද?

මම කලින් කිව්ව වගේම කලාව කියන්නෙ මට උපතින් ආව දෙයක්. විද්‍යාව කියන දේ මම උපාධියක් හදාරල ලබා ගත්ත දෙයක්. ඉතින් ත්‍රිමාණ සිතුවම් කියන්නෙ විද්‍යාවයි කලාවයි එක තැනකින් තියල කරන අපූරු නිර්මාණයක්. කවුරු හරි කියනවනම් මේ විෂයන් දෙක පාරවල් දෙකක් කියල ඒක වැරදියි. මේ විෂයන් දෙක හමුවුණාම ගොඩක් ලස්සන දේවල් එළියට ගන්න පුළුවන්. මගෙ ත්‍රිමාණ සිතුවම්වලට ලැබුණ ප්‍රතිචාරත් එක්ක මට ඒක තහවුරු කරන්න පුළුවන්. ඒ වගේම මගෙ ත්‍රිමාණ සිතුවම් සමාජ ජාලා වෙබ් අඩවි වල පල කරා. ඒවගෙන් ලැබුණු ප්‍රතිචාර අනන්තයි. සමහරු පුදුම වුණා. සමහරු මේ ඇත්තටම සිතුවමක්ද කියල අහද්දි මට එන හැගීම කියල නිම කරන්න බැහැ. ලංකාවෙන් වගේම පිටරටවලිනුත් ප්‍රතිචාර ලැබුණ ඒත් එක්කම තමා වැඩි වශයෙන් face drawing කරන්න හිතුවෙ.

සිතුවමට නැගුණුත ප්‍රසිද්ධ චරිත එහෙම ඇති ?

ඇත්තටම ඔව්. උදාරි වර්ණකුල සූරිය, සජානා වනිගසූරිය, යශෝධා විමලවීර, අයෝමි ශානිකා, පූජා උමාශංකර්, ශනුද්‍රි වගේ අය. එයාලා ගොඩක් සතුටු වුණා වගේම ඒ අය පෞද්ගලිකව කතා කරල ස්තූති කරල එයාලගෙ පින්තූර අයිතිකරගන්නත් හැදුව.

මහේෂ් හිතනවද ලංකාව ඇතුළෙ චිත්‍රවලට හොද පහසුකමක් සහ හොද තැනක් තියනව කියල?

ලංකාවෙ චිත්‍රවලට තියෙන පසුබිම නරක තත්ත්වයක නැහැ. දක්ෂයට අවස්ථාව තියනව කියල කියන්න පුළුවන්. පහසුකම් ගැන කතා කළොත්, කවුරුහරි කියනවනම් හොද පහසුකම් මදි නැත්නම් හොද brand නැහැ ඒ නිසා හොද නිර්මාණ කරන්න හැකියාවක් නැහැ කියල ඒ දේ මං සම්පූර්ණයෙන්ම බැහැර කරනව. එහෙම කියන අය ඉන්නවනම් ඒ අය සතුව තියෙන කලාව සහ හැකියාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මිසක් පහසුකම්වල ඇති වැදගත්කම නෙවෙයි. මම හිතනව හොද කලාකරුවො ළඟ හොද පහසුකම් තිබුණෙ නැහැ. තියන දෙයින් එයාල උපරිම ප්‍රයෝජන අරගන තිබුණ නිසා තමයි මෙතරම් අලංකාර සිතුවම් අද අපි දකින්නෙ. කොහොම නමුත් මගෙ චිත්‍ර ලෝකෙ ගොඩක් අයගෙ වරප්‍රසාදයට ලක් වුණේ හොද brandවලින් කරල නම් නෙවෙ. ලංකාවෙ තියෙන පහසුකම් සහ මට දරන්න පුළුවන් මට්ටමේ දේවල්වලින් උපරිම ප්‍රයෝජන අරගෙන තමයි මම මේ ගමන ඇවිත් තියෙන්නෙ.

දැන් ඔබ වෘත්තීමය වශයෙන් චිත්‍ර ශිල්පියෙක්ද?

ඔව්. මම Mahesh creative නමින් මගේ ව්‍යාපාරය කරගෙන යනව. Face drawing විතරක් නෙවේ පරිසරය හා සම්බන්ධ ත්‍රිමාණ සිතුවම් කරනව. මට විශාල වශයෙන් ඇනවුම් ලබෙනව. මොකද මටම කියල වෙනම කලාවක් තියනව. මම විතරයි හැම ඇනවුමකටම drawing video එකක් ලබා දෙන්න පටන්ගත්තෙ. ඉතින් ඒකත් එක්ක ගොඩක් අය මගෙන් සිතුවම් ඇදගන්න කැමතියි කියල කියන්න පුළුවන්.
කලාව සම්බන්ධයෙන් මහේෂ්ගෙ ඉස්සරහට තියෙන බලාපොරොත්තු මොනවද?
වෙනස්ම ආකාරයකින් තව ප්‍රදර්ශනයක් තියන්න බලාපොරොත්තු වෙනව. මම කොහොමත් වෙනසකට කැමති කෙනෙක්. මම චිත්‍ර විෂයට වගේම සංගීතයටත් ඇලුම් කරනව. ඒ වගේම මගෙ උපාධිය. මේ හැමදේම මම කලාවට එකතු කරන්න බලාපොරොත්තු වෙනව. ඒ නිසා අවසාන නිර්මාණය හිතනවට වඩා ලස්සනට කරගන්න පුළුවන් වෙයි කියල හිතනව. නමුත් මම තවම සම්පූර්ණ නැහැ. තව යන්න ලොකු ගමනක් තියනව. හදාරන්න ලොකු දැනුමක් තියනව.

සාකච්ඡාව අහවරවෙන්න සූදානම් වෙනවත් එක්කම ලොකු හුස්මක් ගත්ත මහේෂ්ට ඊලගට කියන්න ඕන වුණේ ඔහුට මේ ගමන එන්න අත්වැල දුන් අය සම්බන්ධව. 


ඇත්තටම.... මුලින්ම මගෙ පවුලෙ අය, පාසල, ගුරුවරු, විශ්වවිද්‍යාලය, යාළු මිත්‍රයො වගේම මේ ආටිකල් එකට ඉඩහසර වෙන් කරල දුන්න දැකලවත් නැති නදී අක්ක. වගේම මගෙ ෆේස් බුක් යෙහෙළිය. ගොඩක් ස්තූතියි. මේ මගෙ පලවෙනි ආර්ටිකල් එක. ගොඩක් සතුටුයි.

 

සාකච්ඡාව. = රන්ජනා සෙව්වන්දි