ශ්‍රී ලංකාවේ සංගීතය පිළිබඳ ප්‍රථම මහාචාර්යවරිය අමරා රණතුංග ගේ අභාවය


ශ්‍රී ලංකාවේ සංගීතය පිළිබඳ මහාචාර්ය පදවියක් හිමි කර ගත් ප්‍රථමයා වශයෙන් ඉතිහාසගතව සිටි අමරා රණතුංග හෘදයාබාධයක් හේතුවෙන් සඳුදා (15) දා අභාවප්‍රාප්ත විය.

දින කිහිපයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය එහිදී මිය ගිය ඇය මිය යන විට 79 වන වියේ පසු විය.
ආචාර්ය දයාරත්න රණතුංගගේ බිරිඳ වූ මහාචාර්ය අමරා රණතුංග පුතුන් දෙදෙනෙකුගේ මවකි.

මහාචාර්ය අමරා රණතුංගගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (18)එනම් හෙට සිදු කිරීමට නියමිතය.

ආචාර්ය දයාරත්න රණතුංගගේ බිරිඳ වූ මහාචාර්ය අමරා රණතුංග පුතුන් දෙදෙනෙකුගේ මවකි

1961 වසරේදී ඉන්දියාවේ භාත්ඛණ්ඩේ ආයතනයට සම්බන්ධ වී සංගීතය හදාරා පසුව ඇය සිය වෘත්තිය ජීවිතය ආරම්භ කළේ, පාසල් ගුරුවරියක ලෙසිනි.

පසුව ඇය එවකට කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධව පැවති සෞන්දර්ය කලා අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරියක ලෙස පත්වීමක් ලැබූ අතර ආචාර්ය උපාධිය ද නිම කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම සංගීත මහාචාර්ය පදවිය හිමි කර ගත්තාය.

සෞන්දර්ය කලා අධ්‍යයන අංශය පසු කලෙක සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය බවට පත් කළ පසු ද මහාචාර්ය අමරා රණතුංග එහි මහාචාර්යවරියක සහ අධ්‍යයනාංශ ප්‍රධානියෙකු ලෙස ද සේවය කළා ය.

සංගීතය පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂණ රැසක නියැළුණු ඇය, ඒ සම්බන්ධයෙන් ග්‍රන්ථ කීපයක් ම පළ කර තිබේ.
මහාචාර්ය අමරා රණතුංගගේ අභාවය සිංහල සංගීතයට බලවත් පාඩුවක් බව සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති.