සයිබර් ප්‍රහාරයට ලක්වූ දත්ත ආරක්ෂා කිරීමට අපට නොහැකියි - ෆේස්බුක්



පසුගිය දිනවල එල්ල වූ සයිබර් ප්‍රහාරය හේතුවෙන් සයිබර් ප්‍රහාරකයින් අතට පත්වූ ෆේස්බුක් භාවිත කරන්නන්ගේ පෞද්ගලික දත්ත සම්බන්ධයෙන් ආරක්ෂාවක් සැලසීමට හැකියාවක් නැතැයි ෆේස්බුක් සමාගම පවසා තිබේ.

ෆේස්බුක් සමාගම පසුගිය ඔක්:12දා අනාවරණයකර තිබුනේ , ෆේස්බුක් භාවිත කරන්නන් මිලියන 14 දෙනෙකුගේ අතිශය පෞද්ගලික තොරතුරු සයිබර් ප්‍රහාරකයින් අතට පත්ව ඇති බවයි.
මෙවැනි සයිබර් ප්‍රහාරයකදී වෙනත් ආයතන සිය සේවාදායකයින් ආරක්ෂා කිරීමට පියවර ගත්ත ද, ෆේස්බුක් සමාගම පවසන්නේ, සයිබර් ප්‍රහාරයට ලක්වූවන් වෙනුවෙන් ආරක්ෂණ වැඩපිළිවෙළක් සැපයීමට සැලසුම් කර නොමැති බවය.

මේ පිලිබඳ විශ්ලේෂකයින් පවසන්නේ, ෆේස්බුක් සමාගමේ මෙම ප්‍රකාශය පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බවය.

"මෙම දත්ත සොරා ගැනීම හරහා සමාජ ජාල හරහා විවිධ වංචාසහගත වැඩසටහන් නිර්මාණය කිරීමට ප්‍රහාරකයින්ට පුළුවන්, දත්ත සොරා ගැනීමට ලක් වූවන් එහි ගොදුරක් විය හැකියි" Moor Insights and Strategy දත්ත විශ්ලේෂණ සමාගමේ විශ්ලේෂකයෙකු වන පැට්‍රික් මුවර්හෙඩ් බීබීසී පුවත් සේවයට පැවසීය.

ෆේස්බුක් සමාගම කර ඇත්තේ, ෆේස්බුක් භාවිත කරන්නන් දත්ත සොරා ගැනීමට ලක් වූවා ද යන්න දැන ගැනීම සඳහා මග පෙන්වීමක් කිරීම පමණි.

ෆේස්බුක් සමාගම පවසන පරිදි ෆේස්බුක් භාවිත කරන්නන්ට බලපෑ දරුණුතම සයිබර් ප්‍රහාරයේ ගොදුරක් බවට පත්ව සිටින මිලියන 14ක් වන විශාල පිරිසගේ සොරාගෙන ඇත.

එම දත්ත අතර, "username, ස්ත්‍රී පුරුෂ භාවය, රට සහ භාෂාව, සබැඳියන් පිළිබඳ විස්තර, ආගමික තොරතුරු, උපන් ප්‍රදේශය, පදිංචි ප්‍රදේශය, උපන් දිනය, ෆේස්බුක් වෙත පිවිසෙන උපාංගය (device), අධ්‍යාපන මට්ටම, රැකියාව, අවසන් වරට ගිය ස්ථාන 10, tag කිරීම්, follow කරන ෆේස්බුක් පිටු හා පුද්ගලයින් මෙන් ම අවසන් වරට කළ සෙවුම් 15 යන තොරතුරු සොරා ගැනීමට ලක්ව තිබේ"

මීට පෙර මෙවැනි දැවැන්ත සයිබර් ප්‍රහාරයන්ට ලක්වූ Target, Playstation Network සහ Equifax වැනි සමාගම් දත්ත ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබිණි.

ෆේස්බුක් සමාගමේ ප්‍රකාශිකාවක බීබීසී පුවත් සේවයට පවසා ඇත්තේ, 'මෙම අවස්ථාවේ' එවැනි දත්ත ආරක්ෂණ වැඩපිළිවෙළක් කෙරෙහි යොමු නොවන බවය. ඒ වෙනුවට ෆේස්බුක් භාවිත කරන්නන් help section වෙත යොමු කරන බව ඇය පැවසීය.

"අපේ help section එක හරහා අපි කරන්නෙ සැකසහිත ඊ-මේල්, වෙනත් පණිවුඩ හෝ ඇමතුම්වලින් සිය දත්ත ආරක්ෂා කර ගන්නා ආකාරය පිළිබඳව දැනුවත් කිරීමයි" ෆේස්බුක් සමාගමේ ප්‍රකාශිකාව සඳහන් කළාය.

කෙසේ වෙතත්, මෑතකදී එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් පසුව ෆේස්බුක් උපකාර පිටු යාවත්කාලීන කර තිබේ ද යන්න පිළිබඳව ඇය අදහස් පළ කළේ නැත.